කුඩගම්මන ග්‍රාමයට පාසලක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ ප්‍රභූන් විසින් කරන ලද ඉල්ලීමට අනුව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ඔවුන්ට ඒ් සදහා අවශ්‍ය මූලික කටයුතු කරන ලෙස දන්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එස්.ඩබ්.එන්.ගුණතිලක හා කංකානම් තැන යන අයගේ පරපුරේ අය විසින් පාසලට අවශය ඉඩම පරිත්‍යාග කරන ලදී. එය කොළඹ - කුරුණෑගල 05 පාරේ වර්තමාන කුඩගම්මන මහා විද්‍යාලය පිහිටි ස්ථානයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා තිබුණි. ගම්වාසීහු එහි මැටියෙන් ගොඩනැගිල්ලක් ඉදිකර, පොල් අතු හෙවිලි කළහ. 1899.05.01 දින මෙම පාසල ආරම්භ කල අතර, පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ඩී.එන්. කරුණානායක මහතා එහි ප්‍රධානාචාර්ය ධූරයට පත් කරන ලදී. කුඩගම්මන බෞද්ධ මිශ්‍ර පාසල ලෙස නම් ලැබූ මෙය 1900.11.01 දින සිට ආණ්ඩුවේ ආධාර ලබන පාසලක් බවට පත් වූ අතර, මිරිගම අධ්‍යාපන මණ්ඩලයට අයත් විය.
පාසලට ආසන්නව පදිංචි ව සිටි කරුණානායක මහතා වර්ෂ 50 ක් පමණ මෙම පාසලේ සේවය කළ අතර, පාසල සැලකිය යුතු දියුණුවක් ලැබීය. 1930 අශකය වන විට එහි සිසුන් සංඛ්‍යාව 200 ඉක්මවා සිටි බවට සාක්ෂි ඇත. මෙය එම කාලය හා සංසන්දනයේදී ඉතා විශාල සංඛ්‍යාවක් විය.
1940.05.06 වන දින කුඩගම්මන බෞද්ධ මිශ්‍ර පාසලේ වැඩ භාර ගත්තේ ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඉන්තෝරිස් අප්පුහාමි මහතාය. ඔහු දක්ෂ ගුරුවරයෙකු මෙන් ම විදුහල්පතිවරයෙකු ද විය. එතුමා ද පාසල අසල පදිංචි වූ අතර ප්‍රදේශවාසීන්ගේ සහාය නොමද ව ලැබුණි. මෙ වන විට පිරිස වැඩි වි තිබූ අතර ශාලා 4 ක් ද ගොඩනැංවී තිබුණි. වඩාත් විධිමත් ආකාරයට පාසල ගොඩනැංවිමට තීරණය කළ මෙම විදුහල්පතිවරයා අංක79, වල්පිට ගම්මුලාදෑනියෙකු වූ මුතුකුඩ රාලහාමි විසින් පරිත්‍යාග කරන ලද අක්කරයක භූමියක වර්තමාන පාසල ඇති ස්ථානයේ, ගම්මුන්ගේ සහයෝගයෙන් කපරාදු බිත්ති හා සිමෙන්ති ගෙබිම සහිත, උළු හෙවිලි කළ 70'*20' ගොඩනැගිලි 2ක් ඉදි කර ඇත. දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත.
1942 වර්ෂයේ පවත්වන ලද කනිෂ්ඨ පාඨශාලාපත්‍ර විභාගයට ඉදිරිපත් වූ සිසුන් සියලු දෙනා ම සමත් වූ බව ද බෞද්ධ ශිෂ්‍ය විභාගයට ඉදිරිපත් වූ සිසුන් 46 දෙනා ගෙන් 38 දෙනෙකුම සමත් වු බව ද සදහන් වේ. මේ ප්‍රතිඵලනිසා අවට ගම් සියල්ලේම ළමුන් මෙහි ඇදී විත් ඇත.
පොත පතේ අධ්‍යාපනයට අමතර ව වතු වැඩ,මැහුම්,පේෂකර්ම, නැටුම්,ක්‍රීඩා යන අංශවලින් ද විශාල දියුණුවක් ලබා ඇත. 1932 දී පැමිණි පබිලිස් අප්පුහාමි නමැති පේෂකර්ම ගුරුතුමා අලුතින් ගොඩනැගිල්ලක් තනා සිසුන්ට රෙදි විවීම ආරම්භ කර ඇත. 1956 දී නැටුම් විෂයය ඉගැන්වීමට පත් ව ආ ඇඩ්වින් ගුරුතුමා නැටුම් විෂයට ඉතා වැදගත් තැනක් ලබා දුන්නේය. එහි ආරම්භක සිසුන් බොහෝ දෙනෙකුට රජයේ ගුරු පත්වීම් ලැබීම එය තහවුරු කරවයි.
මෙම පාසල ක්‍රීඩා ජයග්‍රහණවලින් වටිනා නමක් දිනා සිටි අතර එල්ලේ කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් ලෙස නම් දරා ඇත. 1950/1957 ක්‍රීඩා තරගවලින් මාණ්ඩලික ශූරතා පළිහ දිනා ඇත. ඉතා ප්‍රබල අත් පන්දු කණ්ඩායම ද ශූරතා පළිහ දිනා ඇත.
1958 මෙම පාසලේ සිසුන් 650ක් පමණ සිටි බවත් ආචාර්ය මණ්ඩලය 19ක් වූ බවත් සදහන් වේ. 1961 වන විට සිසුන් 714ක් සිටි බව ද වාර්තාගත ය. මෙම ප්‍රදේශයේ ජනප්‍රිය ම පාසල වූ බව මිනු පැහැදිලි වේ.
ඉන්තෝරිස් ප්‍රධානාචාර්ය තුමා විසින් ප්‍රසිද්ධ විභාග සදහා නොමිලේ පන්ති පැවැත්වූ අතර අවසාන ගුරු විභාගය , ග්‍රාම සේවක විභාගය (1959) ඉන් කිහිපයකි. මෙම විභාගවලින් සමත් ව පත්වීම් ලබාගත් අය බොහෝ ය.
1961 වර්‍ෂයේ දී උපකෘත පාසල් රජයට බවරා ගත් අතර කුඩගම්මන කනිෂ්ඨ විද්‍යාලයය ලෙස නම් කෙරිණි. එහි විදුහල්පති වූයේ ද ඉන්තෝරිස් මහතා ය. එතුමා 1962.02.10 වන දින තම ගම් ප්‍රදේශයේ පාසලකට ස්ථාන මාරුවක් ලබා යන තෙක් අවුරුදු 20 කට අධික කාලයක් මෙම විදුහලේ ප්‍රගතිය සදහා එතුමාගෙන් සිදු වූයේ අමිල සේවයකි. දැනට ද පවතින 70'*20' ශාලාව ඉදි කරන ලද්දේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ හා ගම්මුන්ගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රධානාචාර්‍ය්‍යතුමා විසිනි.
ඉන් අනතුරුව 1962.02.10 දින සිට රද්දොළුවේ පදිංචි කේ.ජී. ප්‍රනාන්දු මහතා 1969.05.26 දින තෙක් විදුහල්පති ධූරය හෙබ වූ අතර, වල්පිට ඩබ්.ඒ.සේනානායක මහතා ඊලග විදුහල්පතිවරයා විය.
මේ අවධියේ පාසලේ කැපී පෙනෙන දියුණුවක් ඇති වූයේ 1971.09.13 වන දින වැඩ භාරගත් කේ.ඒ.ටී. ගුණවර්ධන විදුහල්පතිවරයාගේ කාලයේ දී ය. එම අවධියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල උසස් මට්ටමකට ගෙන ආ අතර උසස් පෙළ පන්ති අනුමත කරවාගෙන මෙය මහා විද්‍යාලයක් බවට පත් කරවිමට ද එතුමා කටයුකු කළේ ය. එතුමාගෙන් පසුව සිටි විදුහල්පතිවරුන් ලෙස ඒ.ඩබ්.කේ. ජයතිලක රාජපක්ෂ හා එච්.ජී.චන්ද්‍රගුප්ත යන මහත්වරුන් හැදින්විය හැකි ය.
70 දශකයේදී නාගරීකරණයේ ප්‍රතිඵලයක් ලෙස ගම් ප්‍රදේශවල සිසුන් නගරයේ වූ වැඩි පහසුකම් සහිත පාසල්වලට ඇදී යාම හේතුවෙන් ග්‍රාමීය පාසල් වල ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමට පටන් ගත්තේ ය. මෙයින් මේ පාසල ද තරමක් පසුගාමී තත්ත්වයකට පත් විය.
2000.02.03 - 2002.10.25 තෙක් කාලය තුළ විදුහල්පතිවරයා ලෙස එස්.එම්. රත්නසිරි මහතා ද 2003.02.24 දින වන තෙක් එච්.ඩී.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා ද සේවය කළ අතර එතුමාට කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ ධූරයක් ලැබීමෙන් පසුව විදුහල්පති ධූරයේ වැඩ බැලුවේ එම්.පී. නාලනී මහත්මියයි.
ඉන් පසු විදුහල්පතිවරයා ලෙස පත් ව ආ ජී.කරුණාජීව මහතා 2005.07.06 දින දක්වා සේවය කළ අතර පුෂ්පා මාලනී මහත්මිය එතැන් සිට 2006.07.31 දක්වා සේවය කළාය. එතුමිය රෝගාතුර වීමත් සමග ම විදුහල්පතිවරයෙකු නොමැති වූයෙන් අවුරුද්දක පමණ කාලයක් එම්.පී. නාලනී මහත්මිය විදුහල්පති ධූරයේ වැඩ බැලුවාය. 2007.07.23 වන දින විදුහල්පතිවරයා ලෙස කේ.ආර්. චන්ද්‍රසේන මහතා පත්වූ අතර 2000 වර්ෂයේ සිට සේවය කළ විදුහල්පතිවරුන්ගේ විශාල කැපවිම නිසා පාසලේ අධ්‍යාපන තත්වය සහ ප්‍රතිඵල ද තරග ජයග්‍රහණ ද රැසක් ලබා ඇත.
වර්තමානයේ විදුහල්පතිතුමිය ලෙස එච්.ඒ.ජේ.ඩී. හරිස්චන්ද්‍ර මෙනවිය කටයුතු කරන අතර එතුමියගේ නායකත්වය යටතේ අ.පො.ස.(සා.පෙල) විභාගයේ මිනුවන්ගොඩ කලාපයේ ප්‍රථම ස්ථානය අඛණ්ඩව ලබා ගැනීමට සමත්වී ඇත.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 25ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 04කින් සමන්විතය. තුන් සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "සුනාථ ධාරේථ චරාථ" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1899 මැයි 01 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.එන්.කරුණානායක මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කුඩගම්මන බෞද්ධ මිශ්‍ර පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී.එන්.කරුණානායක මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කොළඹ - කුරුණෑගල 05 පාරේ වර්තමාන කුඩගම්මන මහා විද්‍යාලය පිහිටි ස්ථානයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා තිබුණි. |







